Saturday, December 1, 2012

පිටස්තරයා .............................. එකොළොස්වන දිගහැරුම................


පිටස්තරයා............. ඇරඹුමේ සිට සත්වන දිගහැරුම තෙක් පිටස්තරයා............. අටවන දිගහැරුමපිටස්තරයා............. නවවන දිගහැරුමපිටස්තරයා............. දසවන දිගහැරුම::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
විශ්ව, මට ඔයාව අද හවස හමුවෙන්න ඕන..... හවස ලොකු වැඩක් නෑ නේද ?
නැහැ... කීයට විතරද ?
හවස වැඩ ඉවර වෙලා එන්නකො.... මට ඔයත් එක්ක වැදගත් දෙයක් කතා කරන්න තියෙනවා.
හොඳයි...
............................................................................................
එදින දවස විශ්ව පර්යේෂණ වල නිරත වුවත් සිත තුළ ඇති කළේ චකිතයකි. සේවයට පැමිණ සති දෙකක් යාන්තම් ගතවෙද්දී සිය ජීවිතය වෙනස් වූ ආකාරය ඔහුට සිතා ගැනීමටත් නොහැකි තරමට වේගවත් විය. මසකට පෙර තමා කැලිෆෝනියාවේ ගත කළ ජීවිතයත්, මසක් ඇතුලත සියල්ල වෙනස් වූ අයුරුත් චිත්‍රපටයක් සේ සිය දෑස් ඉදිරිපිට ඇඳී බොඳවුනි...
මොකද කරන්නෙ ? භාවනා කරනවද ?
මෙගන්ගේ හඬින් සිය දැහැන බිඳගත් විශ්ව වටපිට බැලීය...
නෑ... මම මේ කල්පනා කළේ....
මම දැන ගත්තා... ලොකු කල්පනාවක කියලා... මම ලඟට ඇවිත් විනාඩි ගාණක් යනකල් දැක්කෙ නෑ.... කවුරු ගැනද කල්පනා කළේ.... කැලිෆෝනියාවෙ ඉන්න ගෑණු ළමයා ගැනද ?
මම ?.... අනේ නැහැ මෙගන්.... මට එහෙම කෙනෙක් නැහැ.....
මෙගන්ගේ මුවඟ සිනාවක් ඇඳුනේ නිතැතින්ම.......... හිටියෙත් නැද්ද ?
නැහැ....
බොරුකාරයා.... ඔය වයසෙ කොල්ලෙකුට කෙල්ලෙක් හිටියෙ නෑ කියන්නෙ ලෝක පුදුමයක්.....
බොරු කියන්නෙ මොනවටද ? මට ගෑණු ළමයෙක් හිටියෙත් නෑ දැනුත් නෑ.....
ඒකට කමක් නෑ... මම මේ ආවෙ ගුරුත්‍ව ක්‍ෂෙත්‍ර ගැන විස්තර ටිකක් ඔයාගෙන් දැනගන්න... ඔයා ආචාර්ය උපාධියට කළේ ප්‍රති ගුරුත්‍වාකර්ෂණය ගැන කියලා මයික් කිවුවා.... පොත් පෙරළලා බලනවට වඩා විශේෂඥයෙක්ගෙන් අහගන්න එක ලේසි නිසා මම පොඩ්ඩක් අහගන්න ආවෙ... කරදරයක් නැතිනම් පොඩ්ඩක් කියලා දෙනවද ? මෙගන් එහෙම ඇහුව තාලෙට විශ්වට බෑ කියන්න බැරි වුනා...
ඉතිං මෙගන්ට දැන ගන්න අවශ්‍ය මොකක්ද හරියටම ?
මේකයි... මම කියවපු ලිපියක බොහොම සංකීර්ණව ගණනය කිරීම් සමඟ දක්වලා තිබුණා ලෝකයේ සමහර තැන්වල ගුරුත්‍ව ක්‍ෂෙත්‍රය අඩු වැඩි මට්ටම්වල පවතිනවා කියලා... මේක තේරෙන භාෂාවෙන් දැනගන්නයි මට ඕන.. මොකද මේ කතාව ප්‍රතිගුරුත්‍ව මේසයේ ක්‍රියාකාරීත්‍වයට අදාල කරගන්නයි මට ඕන....
හරි.... ගුරුත්‍ව ක්‍ෂෙත්‍ර කියන්නෙ ලෝකය පුරාම පවතින දෙයක් නෙ... ඒක හැම තැනම ඒකාකාර නැහැ... සමහර තැන්වල වැඩි ගුරුත්‍වයක් තියෙනවා වගේම තවත් සමහර තැන්වල අඩු ගුරුත්‍වයක් තියෙනවා.
මේ බලන්න මේ සිතියම දිහා...මේ සිතියමේ තියෙන්නෙ ලෝකයේ ගුරුත්‍ව ක්‍ෂෙත්‍රවල වෙනස්වීම. මේ රතු පැහැයෙන් දැක්වෙන්නෙ අධික ගුරුත්‍වයක් ඇති ප්‍රදේශ.... තද නිල් පැහැයෙන් පෙන්වන්නෙ අවම ගුරුත්‍වයක් ඇති ප්‍රදේශ.  දකුණු ඇමරිකාවෙ ඇන්ඩීස් කඳු, ඉන්දියාවෙ හිමාලය, ජාවා සුමාත්‍රා පෙදෙස් වගේ තැන්වල අධික ගුරුත්‍වයක් තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවෙ දකුණු දිග, හිමාලයෙ උතුරු පෙදෙස, බර්මියුඩා ත්‍රිකෝණය වගේ තැන්වල ගුරුත්‍වය අඩු මට්ටමක තිබෙනවා. මෙන්න මේ නිසා මේ තැන්වලදී සමහර අගයයන් සාමාන්‍ය අගයයන්ගෙන් වෙනස් වෙනවා. උදාහරණයක් විදියට ගත්තොත් බර්මියුඩා ත්‍රිකෝණයේදී නැව් ගිලෙනවා කියන මතය - සමහර විට එය මිත්‍යාවක් වුනත් මේ ගුරුත්‍ව වෙනස නිසා සිදු වන්නක් වෙන්න පුළුවනි. ඇන්ඩීස් කඳුවල ඇති සමහර විල්වල ජලයේ විවිධාකාර ගුණ තිබෙනවා කියන්නෙ මෙන්න මේ ගුරුත්‍වය වැඩි වීම නිසා වෙන්න පුළුවන්.
පුරාණ කතාවක් වන රාමායනයෙ කියැවෙන හනුමන්තා හිමාලයෙන් කොටසක් ගලවගෙන එද්දි රූමස්සල කියන ප්‍රදේශයේ එයින් කැබැල්ලක් කැඩී වැටුනා කියන කතාවෙ සත්‍යතාවය කොපමණද කියලා නොදන්නවා වුනත් ඒ භූ විෂමතාවල සහ පරිසරයෙ කිසියම් සමානතාවයක්  දකින්න පුළුවන් සාධක එහි තියෙනවා. නමුත් කවුරුවත් එහි විද්‍යාත්මක සත්‍යතාවය පර්යේෂණයකට භාජනය කරලා නැති වෙන්න පුළුවන්.  මෙන්න මේ වගේ වෙනස් වෙනස් තැන්වල වෙනස් ගුරුත්‍ව බලයයන් තියෙනවා. මගේ පර්යේෂණය වුනේ මේ ක්‍ෂෙත්‍රවල සම්බන්ධතාවයක් ඇත්දැයි හොයන එක... නමුත් මට ලෝකෙ වටේම යන්න බැරි වුන නිසා ඒ සියල්ල නිසි ලෙස අවසාන කරගන්න බැරි වුනා... ඒ නිසාමයි මම මගේ නිබන්ධනය උතුරු සහ දකුණු ඇමරිකානු මහාද්වීප වලට පමණක් සීමා කළේ... ඉඩක් ලැබුණොත් අනෙත් පැති වලත් මේ සම්බන්ධතාවය කොහොමද කියලා බලන්න ඕන..
මොකද්ද රාමායනය කියන්නෙ ?
රාමායනය කියන්නෙ ඉන්දියාවෙ ලියැවුන මහා වීර කාව්‍ය දෙකෙන් එකක්. අනිත් එක මහාභාරත්... දෙකම කියවන්න වටින පොත් දෙකක්. රාමායනය ලිවුවෙ වාල්මිකී කියන පඬිවරයා.  මේ පොතෙන් කියවෙන්නෙ  මහා දිග කතාවක්... කැමති නම් හොයාගෙන කියවන්න.... ඉතිං... තව මොනවද දැනගන්න ඕන....
මට නම් පොත් කියවන එක නම් එපා වෙලා තියෙන්නෙ..... ඒක නෙවෙයි, ඔයා ලංකාවෙ ඉපදිලත්, ඔය කියන තැනට ගිහිල්ලා නැද්ද ?
ගිහින් තියෙනවා... ගොඩක් ඉස්සර... ළඟකදි නම් ගියේ නැහැ...
මමත් හරිම ආසයි උෂ්ණ කලාපීය රටක නිවාඩුවක් ගත කරන්න යන්න... ඒත් ඉතිං අම්මලා ඉඩ දෙන්නෙ නෑනෙ..... ඒ ගොල්ලන්ගෙන් අවසර ගන්න එක ඉතිං ලේසි නෑ....
ඒ මොකද ? ඒ අය හිතන් ඉන්නෙ තවම මම පොඩියි කියලනෙ. තවම අයියලා දෙන්නගෙ පොඩි එකා මම... අම්මලත් බලන් ඉන්නෙ හැම සති අන්තෙම මම ගෙදර එනකල්... ඒ අයට මම නැතුව බෑ.... ඔයාගෙ පවුලෙ කවුද ඉන්නෙ ?
මම විතරයි....
ඔයා විතරයි ? සමාවෙන්න අහනවට ? ඔයාගෙ දෙමාපියො ? නෑදෑයො ? ඒ අය ලංකාවෙද ?
නැහැ මෙගන්.... මගේ දෙමාපියො දෙන්නම හදිසි අනතුරකින් නැති වුනා... මගේ නංගිත් එක්කම... දැනට අවුරුදු හයකට විතර ඉස්සර...
මෙගන්ගේ මුහුණ දුක්මුසු වූයේ සැණෙකිනි...
අනේ මට සමාවෙන්න විශ්ව... මම වැරදි ප්‍රශ්නයක් ඇහුවනම්.... මම දන්නෙ නැතුවයි ඇහුවෙ....
කමක් නෑ මෙගන්... කවුරුවත්  අනුන් ගැන හරියටම දන්නෙ නෑනෙ... ඒකට කමක් නෑ... ඒ අය නැති වුනේ පිටරකටදී... මගේ තාත්තා එක්සත් ජාතීන්ගේ සංවිධානයෙ නියෝජිතයෙක්.... ඒ ගමනකදි තමයි අනතුර වෙලා තියෙන්නෙ.... දැන් ඒක අතීතයට එක් වෙලා හමාරයි... දුක වුනත් මම ඒ ගැන වැඩිය හිතත්නෙ නෑ...
මට සමාවෙන්න... කියන්න මට ඔයා වෙනුවෙන් කරන්න පුළුවන් දෙයක් තියෙනවද කියලා...
ස්තුතියි... මම අවශ්‍ය වුනොත් කියන්නම්... ඉතිං ඔයාට ඕන විස්තර ටික දැනගත්තද ?
ඹව්... බොහොම ස්තූතියි... හැබැයි මට නම් රාමායනයයි මහාභාරත් පොතයි කියවන්න බැහැ... අඩුම ගානෙ මම Twilight වත් කියවපු කෙනෙක් නොවෙයි...
ඒකට කමක් නෑ,.. ගුරුත්‍වය ගැන ඕනතරම් පොත්, ලිපි තියෙනවා... අන්න ඒවයින් ඔයාට හොඳට විස්තර දැනගන්න පුළුවනි...
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
මොනවද හොයා ගත්තෙ ?
ගිය සති අන්තෙ අපේ යාළුවා පොඩි ගමනක් ගියා...  අපේ නියෝජිතයෙකුත් ඒ සමඟ යැවුවෙ කොහාටද යන්නෙ කියලා බලන්න....
ඉතිං කොහෙද ගියේ ?
චීන ටවුමට...
චීන ටවුමෙ මොනවද එයා කරන්නෙ ?
ඒක තමයි අපටත් ප්‍රශ්නය තිබුණේ... නමුත් මතකද අර දුරකථන සංවාදයෙ කිවුවා චීන කඩේකින් බෙහෙත් වගයක් ගන්න කතාවක්... මම හිතන්නෙ මෙයා ගියේ ඒ බෙහෙත් ගන්නයි...
ඉතිං ගත්ත දේවල් හොයා ගත්තද ?
නැහැ... අන්න ඒකයි ප්‍රශ්නෙ... මොකද කියනවා නම් අපට එකපාරටම චීන කඩෙන් අහන්න බැහැ මෙයා මොනවද ගත්තෙ කියලා... ඒක සැක හිතෙන්න පුළුවන් වැඩක්.... ඒ නිසයි අපි වෙන ක්‍රමයකින් ඒක හොයා ගන්න බලන්නෙ...
කොහොමද ?
කුණු බක්කි අවුස්සන්න තමයි වෙන්නෙ.....
තමුසෙලා ඉතිං හැමදාම   අනුන්ගෙ කුණු බක්කි අවුස්සන එකනෙ කරන්නෙ ! ඒක නෙවෙයි... බැරිද අපිට ගෙදර නිරීක්‍ෂණය කරන්න යමක් කරන්න... එහෙම වුනොත් මොනවහරි හොයා ගන්න පුළුවන් වේවි...  ඒ විතරක් නෙවෙයි... කාර් එකේ GPS tracker  එකක් හයි කරනවා... ඒකෙන් හොයා ගන්න පුළුවන් ගමන් බිමන් ඔක්කොම....
වෙලාවකට හිතෙනවා අපි මේ දුවන්නෙ බොරු දෙයක් පස්සෙ කියලා... ඇයි අපිට කෙළින්ම මෙයාව ප්‍රශ්න කරන්න බැරි ?
මෝඩයෝ.... මොන හේතු මතද ප්‍රශ්න කරන්න අත් අඩංගුවට ගන්නෙ ? කිසිම වැරැද්දක් කරපු නැති මනුස්සයෙක්... කතා කරන්න ඉස්සර වෙලා පොඩ්ඩක් හිතන්න පුරුදු වෙනවා.. තමුසෙ කොහොම එෆ් බී අයි ඒජන්තයෙක් වුනාද කියලා මට හිතෙනවා... ජනරාල් වෙලිංටන් ජේසන් වෙත ගුගුළේය...
සමාවෙන්න ජෙනරාල්තුමනි......
හොඳයි... දැන් යනවා.... මට තව සතියකින් ප්‍රගතිය කියන්න එන්න... මේක ඇදගෙන යන්න බැහැ.... නිකං කාළයයි සල්ලියි නාස්ති කරන්න බැහැ... ඉක්මනට හොයාගෙන එනවා මෙයා කවුද, මොනවද කරන්නෙ කියලා...
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
GPS TrackingGPS Tracking
GPS tracking බොහෝ අංශවල භාවිතා වන ක්‍රමයකි. මෙය අපරාධකරුවන් අල්ලාගැනීම, වාහනවල ගමනාගමනය හෝ මාර්ග අඳුනාගැනීම, ක්‍රීඩාවලදී, වටිනා උපකරණ හෝ වාහන සොර සතුරන්ගෙන්  ආරක්‍ෂාකරගැනීම සඳහා, කුඩා දරුවන් මෙන්ම සුරතල් සතුන්ගේ ආරක්‍ෂාව සඳහා යොදා ගන්නා ක්‍රමයකි. අදාල වස්තුවේ සවි කරන GPS උපකරණයෙන් ලැබෙන සංඥාවන් කිසියම් ස්ථානයක සිට නිරීක්‍ෂණය කිරීම සිදු කෙරේ. උදාහරණයක් ලෙස සීමිත අවකාශයක සැරිසැරීමට අවකාශ දී නිදහස් කෙරෙන සිරකරුවකුගේ වළලුකරෙහි මේ GPS tracking උපකරණයක් සවි කරනු ලබයි. අදාල නීති සම්පාදක ආයතනයෙන් ඒ නිදහස් සීමාව නිර්ණය කර, අදාල පුද්ගලයාට නිදහසේ ගමන් කළ හැකි වපසරිය දන්වනු ලබයි. යම් හෙයකින් ඒ පුද්ගලයා අදාල ප්‍රදේශයෙන්  පිටතට ගියහොත් අදාල ආයතනයට එය පෙනෙනවා පමණක් නොව ඒ පුද්ගලයාට ද කිසියම් සංඥාවක් මගින් දැනුම් දෙනු ලැබේ. තවත් උදාහරණයක් වන්නේ සමහර දරුවන්ගේ සපත්තුවල සඟවා ඇති GPS Tracking dot නම් කුඩා බොත්තමක් වැනි උපකරණයයි. ඒ මගින් තම දරුවා සිටින ස්ථානය ආසන්න වර්ගමීටරයට සොයා ගැනීමේ හැකියාව දෙමාපියන්ට ලැබේ. මෙය තරමක් මිල අධික සේවයක් වුවත්, ධනවත් දෙමාපියෝ සිය දරුවන්ට GPS Tracking dot පළඳවන්නේ ඔවුන් පැහැරගැනීමකට ලක් වුවහොත් සොයා ගැනීමේ පහසුව පිණිසය. නවීන දුරකථන වලද මේ හා ආසන්න තාක්‍ෂණයක් දැන් දැන් ඇතුලත්කර ඇත. එසේම කිසියම් පුද්ගලයෙකුගේ ගමන්බිමන් සොයාගැනීම පිණිස වාහනයේ හෝ ඒ පුද්ගලයාගේ ඇඳුමක GPS Tracking dot එකක් සවිකර සියළුම ගමන් බිමන් සොයා ගැනීමේ පහසුව නීති සම්පාදක ආයතනවලට හැකියාව ඇත.:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
පොරොන්දු වූ පරිදි ම සේවා කාළය අවසානයේ විශ්ව මොලී හමුවන්නට ඇගේ කාමරයට ගියේ සිතේ චකිතයක් ද ඇතුවය.....
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
මොලී මොකද්ද විශ්වට කරන්න යන්නෙ ? ඉදිරි කොටසකින්.........

4 comments:

  1. මේකෙ මොකක්ද අවුලක් තියෙනවා.. මගේ බ්ලොග් ලිස්ට් එකට මේකෙ අළුත් පෝස්ට් එන්නෑනේ......

    ReplyDelete
  2. පට්ට කතා මාලාවක් ඈ...


    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මිත්‍රයා...
      දිග කතාවක්.. ටික ටික ලියැවෙයි...

      Delete
  3. සිරා කතාව ,,
    ඉතුරු ටිකත් ඉක්මනට ඩාන්න ,,
    ජය වේවා ,,

    ReplyDelete