Saturday, November 3, 2012

පිටස්තරයා...... සිවු වැනි දිගහැරුම...


:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
ඔබ ඇන්ඩ්‍රියා ජීන් සමර්ස්...
ඔව්...
වයස තිස් දෙකයි.
ඔව්....
විවාහකද ?
නැහැ....
ඇයි ඔබ බර්ක්ලි විශ්ව විද්‍යාලයේම පශ්චාත් උපාධි පර්යේෂණයට යොමු වුනේ. ? ඔබ වැනි කෙනෙකුට ආචාර්ය උපාධියෙන් පසු වෙනත් ඕනම තැනකට යන්න පුළුවන් කම තිබුණා නෙ.
ඇත්තෙන්ම මගේ පර්යේෂණයේ තවත් වැදගත් අංගයක් නිම වෙලා තිබුණෙ නැහැ මම ආචාර්ය උපාධිය නිම කරන විට. ඒ නිසා මම උපාධියෙන් පසුවත් එතැනම සේවය කළා.
එය ඔබේ වෘත්තීය ජීවිතයට දැඩි පහරක් බව ඔබ දැන සිටියෙ නැද්ද ?
මම එය දැන සිටියා.. නමුත් ඔබ සිතනවද අපරාධකරුවන්ගේ මුහුණෙ හැඟීම් අනුව ඔවුන් ඉදිරියේදී යමක් කරයිද කියලා සොයන්න පුළුවන් පරිඝණක වැඩ සටහනක් හදපු මා වගේ කෙනෙක්ගේ වෘත්තීය ජීවිතය මේ වගේ සුළු දේකින් අවසාන වෙයි කියලා ? ඇය පෙරළා ප්‍රශ්න කළාය.
මෙයා නම් බොහොම තියුණු තර්ක බුද්ධියක් ඇති කෙනෙක්.... නැන්සි එසේ සිතමින් සිය කඩදාසි ගොන්නේ යමක් සටහන් කර ගත්තාය.
ඔබේ විශේෂඥතාවය තිබෙන්නේ පරිඝණක වැඩසටහන් පිළිබඳව.... නමුත් මෙතැන සිදු වන්නේ තනිකරම ඉංජිනේරු අංශයේ, අණුක සහ පරමාණුක මට්ටමේ ගණනය කිරීම් සහ පරිඝණක වැඩසටහන් ලිවීම සහ අත්හදා බැලීම... ඔබ හිතනවාද මෙතැන ඔබට සුදුසුම තැන කියලා. ? මෙතෙක් වෙලා නිහඬව සිටි ආචාර්ය ලිපර්ඩ් ඒ ප්‍රශ්නය යොමු කළේ  ඇගේ නෙත් දෙස කෙළින්ම බලාගෙන....
ඇත්තෙන්ම මම හිතනවා  මම මෙතැනට සුදුසුයි කියලා.. මා ප්‍රසිද්ධ වෙලා තිබෙන්නේ මගේ පරිඝණක වැඩසටහනට වුවත් මගේ  විශේෂඥතාවය තිබෙන්නේ රොබෝටික්ස්... රොබෝවරුන් තැනීම... ඔබ දන්නවා රොබෝවරු තැනීම කියන්නෙ කෙතරම් අපහසු කටයුත්තක්ද කියා... පරිඝණක වැඩසටහන් පමණක් නොවෙයි ඔවුන් සජීවීකරණය සඳහා අපට ඉංජිනේරුවිද්‍යාවේ බොහෝ දේ කරන්න සිදු වෙනවා. යාන්ත්‍රික විද්‍යාව, ද්‍රව්‍ය හැසිරීම සහ ඒවායේ ගුණ, නැනෝතාක්‍ෂණය, ජීව විද්‍යාව, මානව ව්‍යුහ විද්‍යාව අදී සියළු අංශවල එකතුවක් මේ විෂයය. ඒ වගේම ගුරුත්‍වය පිළිබඳ මනා දැනීමක් නොමැතිව රොබෝවරයෙකුට ජීවය දෙන්න අපහසුයි...
ඇගේ ඇස්වල කළු ඉංගිරියාවන් විශාලවනු ලිපර්ඩ් ට පෙණුනි... ඇයට පිටුපසින් සිටි තාක්‍ෂණික නිලධාරියාගේ දකුණතේ මහපටැඟිල්ල පහළට යොමුවනු සියළුම දෙනා හොඳින් දුටුවෝය...
තවත් ප්‍රශ්න කිහිපයකට අනතුරුව..............
හොඳයි.... අපි ඔබට දන්වන්නම් අපේ තීරණය තව දින දෙකකින්... ඒ අතරතුර ඔබ සැළකිළිමත් විය යුතුයි ඔබ අද උදෑසන අත්සන් කළ ලිපිය පිළිබඳ... එය කඩ කළහොත් මේ රැකියාවත්, දැනට ඔබ කරන රැකියාවත් අහිමි වෙන්න පුළුවන්. සුභ දවසක්...
ස්තූතියි... මට මේ අවස්ථාව ලබා දීම ගැන ඔබ හැමටම ස්තූති වෙනවා..
සී අයි ඒ ආයතනය, එෆ් බී අයි ආයතනය සහ ජාතික ආරක්‍ෂක ඒජන්සිය යන ස්ථාන තුනෙහිම අවසාන සම්මුඛ පරීක්‍ෂණය පැවැත්වෙත්නේ දැඩි ආතතියක් ගෙන දෙන තත්ත්‍වයක් මධ්‍යයේ දී ය. පළමුව අපේක්‍ෂකයාගේ සිරුරෙහි පපුව වටා වයරයක් ඇද එය ඉලෙක්ට්‍රෝඩයකට සම්බන්ධ යන්ත්‍රයකට සවි කරන අතර ඇඟිලිතුඩු, බෙල්ලේ, සහ හිසේ ඇසට ඉහළින් වූ මර්මස්ථානයේ කුඩා ඉලෙක්ට්‍රෝඩ සවි කර ඒවා ද අදාල යන්ත්‍රයට සවි කෙරේ. මෙය කිසිවෙකු බොරු කියන්නේදැයි සොයා ගැනීමේ මූලිකම පරීක්‍ෂණයයි. බොරුවක් කියනවිට කළු ඉංගිරියාවෙහි ප්‍රමාණය වෙනස් වුවත්, පළපුරුදු බොරුකාරයෙකුට එය නොවෙනස්ව පවත්වා ගැනීම ද අපහසු නොවේ. නමුත් බොරුවක් දැන දැනම කියනවිට වෙනස්වන හෘද ස්පන්දන වේගය, මොළයේ ස්නායු තන්තු අතර ඇතිවන විද්‍යුත් අසමතුලිතතාවයන් සහ මොළයට රුධිරය ගමන් කිරීමේ විශමතාවයන් නිසා ශරීරයේ ඇතිවන ඉතා සූක්‍ෂම විද්‍යුත් ආරෝපණ වෙනසත්, ශරීරය මතුපිට වෙනස්වන ආරෝපණ වෙනසත්, ශරීරයේ ඔක්සිජන් ප්‍රමාණයෙහි වෙනසත් ගණන් බැලූ විට ඒ පුද්ගලයා කියන්නේ බොරුවක්ද ඇත්තක්ද යන්න සොයා ගැනීම ඉතා පහසු කාර්යයක් වී ඇත. මුලින්ම අපේක්‍ෂකයා/සැකකාරයා විසින් නිසැකවම ඇත්ත පිළිතුරු ලබාදෙන ප්‍රශ්න යොමු කිරීම මගින් යන්ත්‍රයේ නිරවද්‍යතාවය සහතික කර ගනී. ඉන්පසු සිය ඉලක්ක ප්‍රශ්න යොමු කිරීම මගින් අදාල ස්ථානයට ඒ පුද්ගලයා කොටු කරගෙන අවශ්‍ය දේ දැනගත හැකිය. කෙසේ වුවත් මෙම යන්ත්‍රය සාමාන්‍යයෙන් පොලිස් ස්ථානවල සහ අපරාධ පරීක්‍ෂණවල භාවිතා වන ඔව්/නැහැ පිළිතුරු ලබාදෙන යන්ත්‍රයකට වඩා දියුණු යන්ත්‍රයකි. මේ නිසා තම අපේක්‍ෂකයාගේ දීර්ඝ පිළිතුරක ඇති නිරවද්‍යතාවය සහ අවංකභාවය ඉතා තදිමට නිර්ණය කිරීමට අදාල බලධාරින්ට හැකි වේ.
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
මේක වෙන්න පුළුවන් කොහොමද ?
ජනරාල් වෙලිංටන් තමාට ලැබුණු වාර්තාව තෙවන වරටත් කියවා අවසානයේ සිය තට්ට හිස අතගාමින් කල්පනා කළේය..... කවදාවත් කිසිම කෙනෙකුගෙ පසුබිම් වාර්තාවක් මේ තරම් පිරිසිදුව නොලැබුණ බව තමාට විශ්වාසය... අවම වශයෙන් රටේ ජනාධිපතිවරුන්ගේ පවා සොයාගත හැකි පැහැදිළි වැරදි තිබියදී අවම වශයෙන් මාර්ගනීති කඩ කිරීමක් වත් සිය දත්ත සටහනේ නොමැති මේ තරුණයා ගැන Blood Hound නොහොත් ජනරාල් වෙලිංටන්ට හට ගත්තේ මහත් සැකයකි.. වහාම සිය සහායිකාවට ඇමතූ ඔහු සිය කණ්ඩායමේ සිටින දක්‍ෂතම දත්ත හාරන්නන් දෙදෙනා සිය කාර්යාලයට එවන්නැයි අණ කළේය.
බිල්..... මයික්..... මට කියන්න පුළුවන් ද කෙනෙක්ගෙ පසුබිම් දත්ත සටහනක් මේ තරම් පිරිසිදු වෙන්න පුළුවන් කොහොමද කියලා. කාළය නාස්ති කිරීමට අකමැති ජනරාල් වෙලිංටන් කෙළින්ම සිය අවශ්‍යතාවය ඔවුන් හමුවේ ගෙනහැර දැක්වීය.
මේක වෙන්න පුළුවන් ක්‍රම දෙකයි තියෙන්නෙ. එක්කෝ මේ පුද්ගලයා ඇත්තෙන්ම පිරිසිදු පසුබිමක් තිබෙන පුද්ගලයෙක් වෙන්න ඕන. නැතිනම් ඉතිහාසය සම්පූර්ණයෙන්ම මකා දමලා අළුත්ම අනන්‍යතාවයක් ලබා ගන්න ඕන... නමුත් මේ වාර්තා පිළිබඳ බැලුවාම දෙවැන්න අපට බැහැර කරන්න සිදු වෙනවා. මේ බලන්න ඔහු එක්සත් ජනපදයට ඇවිත් තිබෙන්නෙ වයස 13 දි. එතැන් පටන් සියළුම වාර්තා මෙතැන තිබෙනවා... ඒ විතරක් නොවෙයි වීඩියෝ දර්ශනත් සමඟ අනන්‍යතාවය සඟවපු පුද්ගලයෙක් කවදාවත් මෙහෙම ප්‍රසිද්ධියේ හැසිරෙන්නෙ නැහැ. ඒ වගේම අපට පැහැදිලිවම පේනවා මොහු දක්‍ෂ පුද්ගලයෙක් කියලා... ඔහුගෙ ක්‍රීඩා විලාශයෙන්ම පේනවා ඒ බව.. එපමණක් නොවෙයි අපි ඔහුගෙ දෙමාපියන්ගෙ අතීතයත් හාරා අවුස්සා බැලුවා... ඒවයින් වත් පෙනෙන්නෙ නැහැ ඔහු කිසිම වැරැද්දක් කර ඇති බව.. ඔවුන් සියළුම දෙනා බොහොම නීතිගරුකව සිටි පවුලක්.. ඒ වගේම ඔහුගෙ පියා ....
මම දන්නවා.... මම විතරක් නොවෙයි මුළු ලෝකයම දන්නවා.
එහෙනම් ඔබ කියන්නෙ දැන් මේ තරුණයා පිරිසිදු අතීතයක් ඇති කෙනෙක් කියලා ?
ඔව්....
මෙයාට පෙම්වතියක් ඉන්නවද ? ඉඳලා තියෙනවද ?
දන්න ආකාරයට නම් කිසිම සම්බන්ධතාවයක් තිබිලා නැහැ... නමුත් යාළුවො නම් බොහොමයක් ඉන්නවා... Facebook එකේ පමණක් යාළුවො 666 ක් සිටිනවා... දැනට අවුරුදු දෙකක පමණ කාළෙ ඉඳලම මේ ගණන වෙනස් වෙලා නැහැ.. එක්කෝ කවුරුහරි එකතු වෙන්නට පෙර කිසිවෙකු ලැයිස්තුවෙන් ඉවත් කර තිබෙනවා. ඔහු අංක 666  දැඩි ලෙස අනුගමනය කරන කෙනෙක්...
666 යක්‍ෂයාගේ අංකය..... ඔය තියෙන්නෙ පොටක් පෑදිලා... දැන්මම සොයන්න 666 ට මෙයාගෙ ඇති වෙනත් සම්බන්ධතා මොනවද කියලා.... සමහරවිට මෙයා යක්‍ෂයාගේ කල්ලියේ කෙනෙක් වෙන්න ඇති... මේ වගේ සාන්ත දාන්ත අය තමයි අපට ලොකු කරදරයක් වෙන්නෙ... දැන්මම දෙන්නා ගිහින් මට පැයක් ඇතුලත මේ සම්බන්ධය හොයලා ගෙනැත් දෙන්න ඕන.... ඒ වගේම පුළුවන්  නම් මෙයාගෙ ගමන් බිමන් ගැන සැටලයිට් දර්ශන, මාර්ග කැමරා දර්ශන තියෙන ඒවා අරගෙන එන්න... මුහුණ හඳුනා ගැනීමේ (Face Recognition) වැඩසටහනකින් මෙයාගෙ තියෙන සියළුම ෆොටෝ, වීඩියෝ ආදිය සොයා ගන්න.... මෙයා සමහර විට අපට අහු නොවෙච්ච කෙනෙක් වෙන්න පුළුවන්.... ඒ වගේම Facebook එකේ දාපු ප්‍රතිචාර තියෙනවා නම් සහ ඒකෙ විවිධ කණ්ඩායමවලට ඇතුලත් වෙලා තියෙනවා නම් ඒ හැම එකකම විස්තර මට ඕන... මේක ඉහළම වැදගත්කමක් ඇති (High Priority) වැඩක් විදියට මතක තියාගන්න...
හොඳමයි ජෙනරාල් තුමනි..
666 අංකය ගැන බොහෝ මතවාද ඇත....
පළමු සාමාන්‍ය අංක 36 හි එකතුව 666 කි. (1+2+3+4+..........+34+35+36 = 666) මේ නිසා ත්‍රිකෝණාකාර අංකයක් ලෙස සළකනු ලැබේ.  666 දක්වා වූ ප්‍රථමක සංඛ්‍යා ගණන 121 කි. 121 හි මූලය 11 යි. 0-36 දක්වා ඇති ප්‍රථමක සංඛ්‍යා ගණන ද 11 කි. 666 අධි අංකයකි. (abundant number) - එනම් අංක න්‍යායට අනුව කිසියම් අංකයක් බෙදෙන අංක සංඛ්‍යාවෙහි එකතුව එම අංකයට වඩා වැඩි නම් එය අධි අංකයක් යැයි සළකනු ලැබේ. පළමු අධි අංකය 12 ය (1,2,3,4,6 යන සංඛ්‍යාවලින් 12 බෙදේ - එහි එකතුව 16කි). 666 පුනරාවරතී අංකයකි(11,22,444, 666). රෝම ඉලක්කම්වල 666 යනු 1000ට අඩු අවස්ථාවකදී සියළුම අංක සළකුණු දැකිය හැකි එකම අංකයයි, DCLXVI, (D=500, C=100, L=50, X=10, V=5, I=1). යුදෙව් ආගමට අනුව ලෝකය මැවීම සහ පරිපූර්ණ කිරීමට අදාල අංකය 6 වේ (දින 6 කින් ලෝකය මැවීමත් 6 දිශාවකට පරිපූර්ණ කිරීමත් ඇතුළුව)
ක්‍රිස්තියානි ආගමේ නව තෙස්තමේන්තුවේ 13 වන පරිච්ඡේදයේ අංක 666 ට වැරදි චිත්‍රයක් මවාපෑම නිසාම බොහෝ බටහිර ජාතීන් අතර 666 සාතන්ගේ අංකය ලෙසින් වැරදි වැටහීමක් ඇති කරගෙන තිබේ. එසේම අනාගමිකවාදීන් (Anarchists) ද අංක 666 ට විවිධාකාර අර්ථකතන දීමත් එංගලන්තයේ ආතර් රජු අනාගමිකවාදියෙකු විසින් ඝාතනය කිරිම යන කරුණු නිසාත්, මාධ්‍ය මගින් සහ විවිධ කල්ලි මගින් 666 සිය පෞද්ගලික අවශ්‍යතාවයන් අනුව අපරණය කිරීමත් යන කරුණු නිසා අංක 666 යක්‍ෂයාගේ අංකය ලෙස බටහිර ජාතීන් අතර ප්‍රසිද්ධ ය... ජෙනරාල් වෙලිංටන් බුද්ධි අංශය භාර ඉහළ නිලධාරියෙකු වුවත් සිය බුද්ධිය අභිබවා සිය ආගමත් විශ්වාසයත් ඉදිරියට පැනීම නිසා ඔහුද එය යක්‍ෂයාගේ අංකය ලෙස පිළිගැනීම විමතියට කරුණක් නොවේ.
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
සෙස්ස පස්සට................

7 comments:

  1. when u finished this story,I'm going to read all together.its difficult to read like this small chapters.but your imaginations are very interesting .
    chandima

    ReplyDelete
    Replies
    1. Thanks sir,
      I am still writing,.. The only worry is if it's too long,.. but I can not make it short anymore,.. I need to give background details to get the story through,...

      Delete
  2. මොකක් යකෝ..ෆේස් බුක් එකේ 666ක්..?(හැබැයි මගේ වාර්ථානං ඔක්කෝම අප්සෙට්...) ඔය ගාන තමා මං පෙරේදා බලද්දි මගේත් තිබුනේ... පෙරේදා අළුතෙන් බඳවගත්ත කට්ටියත් එක්ක දැන්නං එයිට වැඩී...

    මේක නියමෙට යනවා..විශේෂයෙන්ම කතාව දෙකට බෙද බෙද ගෙනියන විදිය හොඳම විද්‍යා ප්‍රභන්ධ රචකයින්ගේ වගේමයි...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි...
      මට 720 ක් ඉන්නවා.... තව Request 25 ක් විතර තියෙනවා ජීවිතේට අහලා - දැකලා නැති කට්ටියගෙන්...
      අඩු කර ගන්නෙ කොහොමක කියලා හිත හිත ඉන්නෙ.... උදේට නැගිටලා බලද්දි දවසෙ අප්ඩේට්ස් වලින් පිටුවම වැහිලා... ෆිල්ටර් කළත් මදි...
      ඔන්න බලන්න අපිට වෙන වැඩ... මාරයා වගේ ප්‍රසිද්ධ කෙනෙකුට මොන තරම් කරදර ඇද්ද මං අහන්නෙ....
      මේ කතා ශෛලිය ගන්න සෑහෙන පොත් කියවන්න වුනා.... පසුබිම් විස්තරත් ලියන්න එපායෑ... නැත්තං පාඨකයා අමාරුවෙ නෙ.....

      Delete
  3. 666 දැක්ක ගමන් The Oman මතක් උනා... හි හි...

    ReplyDelete
    Replies
    1. තව තව පැති වලට යනවා... ඔහොම යං...

      Delete
  4. ඔය ලයි ඩිටෙක්ටර් එකට බොරු කියන්න පුලුවන් පුහුණුවක් තියෙන පුද්ගලයො ගැන මම අහලා තියෙනවා.

    මම හිතා හිටියෙ 13 විතරයි අප්සෙට් කියලා.

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete